වර්තමානය අතරමග, අනාගතය දකින්න – නගර ඩිජිටල්කරණය

(කැනඩාවේ විනිපෙග් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සහ ආර්ථික විද්‍යා පීඨයේ පීඨාධිපතිනි, සිල්වී ඇල්බර්ට් The Conversation වෙනුවෙන් ලිවූ, 2017 සැප්තැම්බර් 17 වන දින World Economic Forum වෙබ් අඩවියේ පළ වූ ලිපියක් ඇසුරෙනි.)  පරිවතනය: Aysha Maryam

නැගී එන තාක්ෂණය අපගේ පෞද්ගලික මෙන්ම වෘත්තිය ජීවන රටාවන් රැඩිකල් ලෙස වෙනස් කරමින් පවතියි. ඔබගේ වෘත්තීය ජීවිතය සහ ව්‍යවසායකත්වයේ මංපෙත් වෙනත් දිශාවන්ට යොමු කරමින්, නගර, ආයතන සහ සමාගම් දිගින් දිගටම තාක්ෂණයේ පෙරළියකට හසුවෙමින් සිටිනවා. එහි බලපෑම කොතරම්ද කියනවානම්, අප ජිවිතය කළමනාකරණය කරගන්නා අයුරු පවා පෙර නොවූ විරූ ලෙස නව්‍යකරණ්‍ය වී තිබෙනවා. අද යන්ත්‍ර සූත්‍ර සමඟ මිනිසා ගැටෙන්නේ වෙනස්ම අන්දමකටයි. නුදුරු අනාගතයේදි, සමාජයේ නන් දෙසින් වෙසෙන සියලුම දෙනාට තාක්ෂණික දියුණුව ඍජු හෝ වක්‍රාකාරයෙන් බලපෑ හැකියි.

වෙළෙඳ පොළේ ඇති සංකීර්ණ පරිගණක‍ සහ අන්තර්ජාලයේ සන්නිවේදනය සඳහා අප භාවිතා කරනු ලබන නොයෙකුත් මෘදුකාංග නිසා වර්තමානයේ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවන් කෙරෙහි ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ රැල්ල, තොරතුරු තාක්ෂණයේ මෙන්ම විදුලි සංදේශනයේ පවත්නා සම්මතයන් අභියෝගයකට ලක් කරමින් සිටිනවා කිව්වොත් නිවැරදියි.

මේ සියලු විපර්යාසයන් සිදුවන අතරතුරේදි, සුරක්ෂිතභාවය, යටිතල පහසුකම්, විවෘත දත්ත (open-data) ප්‍රතිපත්ති සහ සැලසුම්  සම්බන්ධව කථිකාවතක් අනිවාර්යයෙන් අප ගොඩ නගා ගත යුතුයි. එය වචනයට පමණක් සීමා නොකර, “ඉදිරි අනාගතයේ තාක්ෂණික අභියෝග සහ අවදානම් වලට මුහුණ දීම සඳහා අපට මෙලෙස සූදානම් විය හැකියි” යනුවෙන් ක්‍රියාවෙන් නැගී සිටිය යුතුයි.  

Robot Hand

සංකීර්ණ දෘඪාංග සහ මෘදුකාංග පවත්නා තොරතුරු සහ ටෙලිසන්නිවේදන සම්මතයන් අභියෝගයට ලක් කරමින් සිටියි Photo: Reuters/Fabian Bimmer

 

පර්යේෂකයකු වශයෙන් මා වසර 20ක් මුළුල්ලේ  නගර ඩිජිටල්කරණය සම්බන්ධව සුවිශේෂී උනන්දුවක් දැක්වුවා. මෙම විෂය අළලා මා ග්‍රන්ථ දෙකක් එළි දැක්වූ අතර පුවත්පත් සඟරා ලිපි ගණනාවක්ද පළ කළා. මගේ මෙහයවීම යටතේ ප්‍රවීණ උපදේශක කණ්ඩායමක් කැනඩාවේ විසිර සිටින බුද්ධිමත් ප්‍රජාවන් ගණනාවකගේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහඟු සේවාවක් සැපයුවා. ඒ වගේම පසුගිය වසර 12ක කාලය තුළ  International Intelligent Community Awards සම්මාන උළෙලේ ප්‍රධාන නීතිවේදියකු ලෙසද මා කටයුතු කළා.

අපි අනාගතය ගැන දකින සිහින වර්තමානයේ සැබෑ කරගතහැක්කේ මේ නිසයි.

Robots and AI – රොබෝටික් තාක්ෂණය සහ කෘතිමබුද්ධිය

Pew පර්යේෂණ ආයතනයට අනුව 2025 වන විට රොබෝටික්තාක්ෂණය සහ කෘතිමබුද්ධිය කාර්මික අංශයේ විශාල බලපෑමක් ඇති කරමින්,අපගේ දෛනික ජීවිතයේ වැදගත් කර්තව්‍යයක් දරන්නට ඉඩතිබෙනවා. අපට දැනටමත් මෙම වෙන්ස්වීම් දැකගන්න පුළුවන්.

සුපිරි වෙළඳසැල් වල යන්ත්‍රානුසාරයෙන් විවිධ රසැති අයිස්ක්‍රීම් නිෂ්පාදනය ‍, රේල් පද්ධති පරීක්ෂා කිරීම සහ විදුලි සෝපාන් රැසක කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය පවත්වාගැනීම යනාදි කටයුතු අද රොබෝටික් තාක්ෂණය භාවිතයෙන් සිදුවනවා. IBM හි කෘතිම බුද්ධිය වන Watson, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් පරිච්ඡේදයක් ලියන්නට සූදානම් වනවා. වොට්සන් ට මිනිසාගේ DNA රටාවන් විශ්ලේෂණය කර රෝග විනිශ්චයන්, ඇතිවිය හැකි අවදානම් තත්ත්ව පාලනය කරගැනීම සඳහා විකල්ප උපදෙස් යනාදිය ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.

Wearable Fitness Devices හෙවත් අතේ පැළඳිය හැකි ශාරීරික ක්‍රියාකාරකම් මනින කුඩා උපාංග තුළින් ඔබට පෞද්ගලික හෝ කණ්ඩායමක් වශයෙන් තම ශාරීරික යෝග්‍යතා ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා.  අපට නිතරම අනුබල, අවවාද සපයන මේ හුරුබුහුටි උපකරණය පෞද්ගලික සහායකු ලෙස මා හඳුන්වන්නට කැමතියි.

නිවසේ පොළොව පිරිසිදු කිරිමට මට රෝබෝ කෙනෙකු සිටිනවා. පෞද්ගලික සහායකු ලෙස රොබෝ කෙනෙකුට කළ හැකි විස්මිත වැඩ, වර්තමනයේ ලොව පුරා නන් දෙසින් අපට දැක ගත හැකියි.

ASIMO කියනේ හොන්ඩා ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද රොබෝ කෙනෙක්. ශිෂ්‍යයින් යොමුකරන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නටත් ඔවුන්ට ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නටත් ASIMO ට නිපුණතාවයක් ඇති නිසා මාගේ පීඨයේ ප්‍රධාන පිවිසීම් දොරටුව අසළ ඒ රොබෝව තබන්නට මා කැමතියි.

ජංගම දුරකතන උපාංග සහ Internet of Things (දත්ත හා තොරතුරු අන්තර් හුවමාරු කරගත හැකි අයුරින් අන්තර්ජාලය හා සම්බන්ධව පවතින දෘඩාංග ජාලය)

Ericsson සමාගමේ 2017 වර්ෂයේ ජංගම වාර්තාවට අනුව ඉදිරි වසර 5 ක කාළය තුළ, ලොව පුරා ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවක් භාවිතා කරන්නන් ගණන මිලියනයකින් වැඩිවීමට ඉඩකඩක් තිබෙනවා. බොහෝ පිරිසක් ජංගම දුරකතන සේවා ජාලා කිහිපයකට සම්බන්ධ වී සිටිය හැකියි. සාම්ප්‍රදායික භූගත දුරකතන සම්බන්ධතාවයක් ලබා ගැනීම වෙනුවට බහුතරයක් wireless ජංගම තාක්ෂණය කෙරෙහි ඇල්මක් දැක්වීමට ඉඩ ඇතැයි අපට අපේක්ෂා කරන්න පුළුවන්.

ඩෙස්ක්ටොප් පරිගණක කෙරෙහි අද පවතින්නේ ඉතා අඩු ඉල්ලුමක්. ඒ වෙනුවට පාරිභෝගිකයා ටැබ්, ලැප්ටොප් පරිගණක , ඩ්‍රෝන් කැමරා, ස්මාට් ෆෝන් ඇතුළු අනෙකුත් ජංගම දුරකථන උපකරණ වෙත යොමුවෙමින් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ක්‍රමක්‍රමයෙන් ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවක් ලබා ගැනීමට ඇති ඉල්ලුම ඉහළ නගිමින් තිබෙනවා. මේ නිසා සන්නිවේදන පද්ධතිය වර්තමානය්දි දත්ත හා තොරතුරු අන්තර් හුවමාරු කරගත හැකි අයුරින් අන්තර්ජාලය හා සම්බන්ධව පවතින දෘඩාංග ජාලයක් බවට පරිවර්තනය වී තිබෙනවා. Internet of Things ලෙස අප හඳුන්වන්නේ මෙම ජාලයයි. දිනෙන් දින පුළුල් වන මෙම සංකීර්ණ ජාලය, බ්‍රෝඩ්බෑන්ඩ් යටිතලපහසුකම් කෙරෙහි පීඩනයක් ඇති කිරිමට ඉඩ තිබෙනවා. ඊට හේතුව, ජාලයේ සෑම උපාංගයක්ම wireless chip හරහා එකිනෙක සම්බන්ධ වී ඇති නිසාවෙනි.

Gartner විශ්ලේෂකයින්ට අනුව, 2016-2017 කාලය අතරතුර වාහන සංවේදක, පැළඳිය හැකි උපාංග (Wearable Devices), නිවසේ ඇති විදුලිය සහ ගෑස් මීටර කියවන උපකරණ, ඩ්‍රෝන් සහ ව්‍යාපාර ආයතන වල point-of-sale terminal වැනි එකිනෙක සම්බන්ධ උපාංග වල සංඛ්‍යාව 31% කින් ඉහළ ගොස් තිබෙනවා. IDC සමීක්ෂණයකට අනුව, මෙය 2025 වර්ෂය වන විට බිලියන 81 දක්වා වැඩිවිය හැකියි.

එලෙසම, නිවසේ සම්බන්ධ කරන ආරක්ෂක කැමරා, චලන සංවේදක, ස්මාර්ට් තාක්ෂණයෙන් යුක්ත ශීතකරණ, මීටර් කියවන යන්ත්‍ර යනාදි උපකරණ කෙරෙහි ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි. මුදල් සහ ශ්‍රමය ඉතිරි කරමින්, අපගේ ජීවිතයේ සුරක්ෂිතභාවය සහ සරල බව පවත්වාගැනීමට මෙම උපකරණ වලින් ලැබෙන්නේ විශාල සේවයක් සහ සහයෝගයක්.

ඉහත සඳහන් කළ උපකරණ අපට විශ්ලේෂණය කිරිම සඳහා දත්ත රැසක් ලබාදෙනවා. ජංගම සංවේදක අපගේ පෞද්ගලික ජීවිතයේ නොයෙකුත් ක්‍රියාකාරකම් පරික්ෂාවට ලක් කරන නිසා එහි දත්ත වල පෞද්ගලිකත්වය සහ රහස්‍ය භාවය ආරක්ෂා කිරිම සම්බන්ධ ප්‍රතිපත්ති වැඩි දියුණු කිරිමේ අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.

ජනගහණය සහ නාගරික සහ ස්වයංක්‍රියකරණයේ (Automation) වර්ධනය

ලොව පුරා වෙසෙන නාගරික ජනගහණය 2025 වර්ෂය වන විට තවත් බිලියන 2.5 ක් එක් කරමින් ප්‍රතිශතයක් ලෙස 54% සිට 66% දක්වා ඉහළ යා හැකි බව එක්සත් ජාතින්ගේ සංවිධානය අපේක්ෂා කරනවා. තාක්ෂණය බුද්ධිමත් ලෙස උපයෝගිකරගෙන උසස් තත්වයෙන් හෙබි දිගුකාලීන පැවත්මක් ඇති ප්‍රජාවන් බිහි කිරීම, අපගේ අරමුණ විය යුතුයි.

උදාහරණයක් හැටියට, දැන් අපිට වැඩිවශයෙන් නිවසේ සිට හෝ ටෙලිසේවය (Telework) තුළින් තම රාජකාරි කටයුතු සිදුකරන පිරිසක් දැකගත හැකිවෙනවා. අවුරුදු 20කට පෙරාතුව වුවද මෙම විපර්යාසය සුළු වශයෙන් විවිධ රටවල  හටගත්තත්, ‍රැකියා බලාපොරොත්තුවෙන් සිටින දහසකුත් බුද්ධිමත් ශ්‍රම බලකාය සාම්ප්‍රදායික සමාජ සම්මතයන් පසුපස යාමට කැමැත්තක් දැක්විම නිසා ටෙලිසේවයේ මන්දගාමි වර්ධනයක් දක්නට ලැබුණා. මාර්ග තදබදය කාර්මික පිරිවැය, මානසික ආතතිය ඇතිවීමේ අවදානම සහ කාබන් විමෝචනය අවම කිරිම වැනි ප්‍රතිලාභ රැසක් මේ තුළින් ලැබෙනවා.

ස්වයංක්‍රියකරණයේ ඉදිරි වර්ධනය සහ වෙනස සම්බන්ධ ලා AT&T ලා ගේ සංඛ්‍යාත්මක පෙරනිමිති අදහාගත නොහැකි ලෙස ඉහළ අගයන් වලින් සමන්විතයි.

රොබෝවරුන් විසින් සිදු කරන ලද වැඩ කරයුතු පසුගිය වසරේ 200% කින් ඉහළ ගිය අතර එම අගය මෙම වර්ෂයේ තුන් ගුණයකින් ඉහල යා හැකිබව ඔවුන්ගේ මතයයි. ජීවන තත්ත්වය වැඩි දියුණු කරමින්, පෞද්ගලික සහායකු ලෙස අපගේ දෛනික ජීවිතය පහසු කරන්නට රොබෝවරුන්ට හැකියාව තිබුණත්, මෙම ස්වයංක්‍රියකරණයේ වර්ධනය, රැකියා ජනනය කරන දියුණු වෙමින් පවතින නගරවලට එතරම් හිතකර ලෙස බලපාන්නේ නැහැ.

ඇත්තටම, අප තාක්ෂණයේ වාසි සහ අවාසි යන පැති දෙකම සළකා බැලිය යුතුයි. ඩ්‍රෝන් කැමරා විටෙක කෙනෙකුගේ පෞද්ගලිකත්වය ට තර්ජනයක් ලෙස හැසිරවිය හැකියි. නමුත් එයින් ලබාගත හැකි ප්‍රතිලාභ බොහෝමයක් තිබෙනවා. AT& T විපතට ගොදුරු වූ පෙදෙස් වල ජංගම දුරකතන සේවා සැපයීමට ඩ්‍රෝන් යොදා ගනු ලබනවා. නවතම four-rotor “quadcopter” ඩ්‍රෝන් යාත්‍රා ගිනි නිවන හමුදාවේ නිලධාරීන්ට රූපරාමු සැපයීමට යොදාගන්නා අතර Airbus ගුවන් යානා ආරක්ෂක අධීක්ෂණය සඳහා ඩ්‍රෝන් තාක්ෂණය භාවිතා කරනු ලබනවා.

කාර්මික අංශයේ අභියෝග වලට විසඳුමක් ලෙස මෙම තාක්ෂණය ප්‍රජාවන් රැසක් තුළ, පුළුල් පරාසයක යොදා ගත හැකියි. නගර, නිපුණතාවන් ගෙන් පිරි ශ්‍රම බලකාය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. ඒ ඔවුන්ගේ නව්‍යෝත්පාදන තුළින් අපට නගරයේ සීඝ්‍ර වර්ධනය සහ තාක්ෂණික විපර්යාසයන් නිසා හටගන්නා අහිතකර බලපෑම් පාලනය කරගත හැකි නිසාවෙනි.

මෙතෙක් සඳහන් කළ තාක්ෂණයේ විපර්යාසයන් සහ අනාගත පෙරනිමිති තුළින් තුන්වන කාර්මික විප්ලවයක් ඇතිවිය හැකි යැයි අපටබලාපොරොත්තු වෙන්න පුලුවන්. අපගේ යටිතලපහසුකම් සහ ප්‍රතිපත්ති ඒ සඳහා සූදානම් ද? අපේ කර්මාන්තා නවෝත්පාදනය වෙනුවෙන් ඇප කැපවී වැඩ කරනවාද?

අනාගතයට අප ලෑස්තියි ද?

කාර්මික වශයෙන් දියුණු රටවල් 16ක කණ්ඩායමක් අතරින් කැනඩාව ගනු ලබන්නේ 13න් වන් ස්ථානයයි. කැනඩාවේ The Conference Board මණ්ඩලය විසින් නවෝත්පාදනයේ මන්දගාමි වර්ධනය සඳහා හේතු කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම අධ්‍යයනය සඳහා පදනම් කරගෙන ඇත්තේ කැනඩාවේ තොරතුරු තාක්ෂණයේ (ICT) භාවිතයයි. කාර්මික අංශයේ විප්ලවකාරි වෙනසක් ඇති කළ හැකි වැදගත් අංගයක් ලෙස තොරතුරු තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. මෙහි ප්‍රතිලාභ තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා කැනඩාවට තව බොහෝ දුරක් යා යුතුව තිබෙනවා.

2016 වසරේ මොන්ට්‍රියල් හි Ubisoft ආයතනයේ ගත් විඩියෝවක කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ virtual reality headset එකක් අත් හදා බලන දර්ශනයක් මෙහි පෙන්නුම් කරනවා. CBC ආයතනය ගත් විඩියෝවකි

කැනඩාව ස්මාට් නගර සහ සුපිරි තාක්ෂණික කලාප (technology super-clusters) ඇති කිරීම සඳහා සුවිශේෂී දැක්මකින් ඉදිරිපත් වී සිටියි.

නව ව්‍යවසායකත්ව ව්‍යාපාර, යටිතලපහසුකම් ප්‍රවර්ධනය කිරිමට සහ රටේ පුරවැසියන් වෙනස්වන නාගරික ජීවන රටාවන් වලට හැඩගස්වාගැනීම සඳහා කැනඩා රජය පළමුවෙන්ම තම ප්‍රතිපත්ති සංශෝධනය කළ යුතුයි.

මෙය හුදෙක් රජයට පැවරෙන වගකීමක් නොවෙයි.  මේ සඳහා කෘතිම බුද්ධිය (AI) ,ස්වයංක්‍රිය වාහන සහ දත්ත හා තොරතුරු අන්තර් හුවමාරු කරගත හැකි අයුරින් අන්තර්ජාලය හා සම්බන්ධව පවතින දෘඩාංග ජාලයක් (Internet of Things) වැනි ස්වයංක්‍රියකරණ පද්ධතිවල කාර්යක්ෂම, ඵලදායි සහ සුරක්ෂිත ක්‍රියාකාරිත්වය අත්‍යාවශ්‍ය වනවා. එහි සාර්ථකත්වය නොකඩවා පවත්වා ගැනීමට සෑම මට්ටමක නායකත්වය සහ දායකත්වය අනිවාර්යයෙන් ලැබිය යුතුයි.

උදාහරණයක් හැටියට, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 33ක් ම ස්වයංක්‍රිය වාහන නීතිගත කිරීම සඳහා එකඟතාවය පළ කර තිබෙනවා. මිචිගන් මෑතකදී තම ප්‍රාන්තයේ පළමු ස්වයංක්‍රිය පීට්සා ඩිලිවරි සේවය MCity සමඟ පොදු-පෞද්ගලික සමූහව්‍යාපාරයක් ලෙස දියත් කළා. යුරෝපයේ, Eindhoven හි දැනටමත් ස්වයංක්‍රිය බස් සේවාවන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ මෙම තාක්ෂණය යොදාගැනීමට බලාපොරොත්තුවන ඊළඟ ගමනාගමන සේවය ලෙස හඳුන්වන්න පුළුවන්. සමහර තාක්ෂණයන් කාලයත් සමඟම පරිණාමය වෙනවා. Uber මීට කදිම උදාහරණයක්. නමුත් අනෙකුත් තාක්ෂණයන් වැඩි දියුණු කිරීම සඳහා නිසි සැලසුම් සකස් කිරීමත් සහ ඒවා ක්‍රියාවට නැංවීමත් අනිවාර්යයෙන් කළ යුතු වනවා.

සමහරක් machine-learning මෘදුකාංග වල සාර්ථකත්වය ‍තහවුරු වන්නේ දත්ත share කිරීම වඩාත් විවෘත වූ විටදීයි. සමාජයක් වශයෙන් ගතහොත් එය ඒ තරම් පහසු කර්තව්‍යයක් නොවෙයි. කැනඩාව කියන්නේ ලෝකයේ තදබල SPAM නීතිමාලාවන් (CASL) පවතින රටක්. මෙවන් පසුබිමක, අපට දත්ත රිසි සේ Share කරන්නට ඉඩක් නැහැ. පෞද්ගලික දත්ත පද්ධතිවල අපේ දත්ත බොහෝමයක් පවතින්නේ කිසිවෙකුටත් පහසුවෙන් ඒ තුළට පිවිසිය නොහැකි පරිදියි.

අන්තර්ජාතික නායකත්වය – International leadership

කෙටි ඩිජිටල්කරණ ඉතිහාසය පුරාවටම, කැනඩාව නායකත්වයේ දූරය හොබවා තිබෙනවා. 90 දශකයේ මැද භාගයේ කැනඩාවේ සෑම දිස්ත්‍රික්කයකම නියමු ව්‍යාපෘති කියාත්මක වූ අතර එහි මූලික අරමුණ වූණේ අනාගතයේ ස්මාට් ප්‍රජාවන් කෙසේ දිස්වේද යන්න ප්‍රදර්ශනය කිරීමයි.

ශක්තිමත් ජාතික වැඩසටහනක් නොමැති වූවත්, කැනේඩියානු ප්‍රජාවන් අභියෝග අභිභවා ජාත්‍යන්තර තලයට ප්‍රවිෂ්ට වී සිටිනවා. 2002 වර්ෂයේ පටන් සෑම වසරකම Intelligent Community Forum විසින් ප්‍රදානය කරන අන්තර්ජාතික සම්මාන ලබා ගැනීමට කැනඩාව සමත් වී තිබෙනවා. වර්තමානයේ නව ෆෙඩරල් නායකත්වය යටතේ කැනේඩියානු ඩිජිටල්කරණ දැක්මකින් නව යුගයක් ආරම්භ කිරීම කැන්ඩාව තම රටවැසියන්ට ලබා දෙන පොරොන්දුවයි.

ඔටාවා නගරය මෑතකදී Smart Cities Challenge නම් අභියෝගය හඳුන්වා දුන්නා. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ තාක්ෂණික ප්‍රවර්ධන  වැඩසටහන් සහ භූගෝලිය සුපිරි තාක්ෂණික කලාප (technology super-clusters) ඔස්සේ රට නවෝත්පාදනය සහ සංවර්ධන කරා යොමු කරවීමයි.

පර්යේෂකයකයින් සහ quantum computing, වැනි නැගී එන ක්ෂේත්‍රයන් වල ව්‍යවසායකයින්ව දිරිමත් කිරීම සඳහා මෙම මූලික ව්‍යාපෘතින් විශාල වශයෙන් අනුබලයක් සපයනවා. රාජ්‍ය, පෞද්ගලික, අධ්‍යාපනික සහ පාරිභෝගික යන අංශ හතර වෙතම ආයෝජකයින් ඇතුළු එම ක්ෂේත්‍රයෙන් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් එක්‍ රැස් කරමින් නවෝත්පාදනය දිරිගැන්වීම සඳහා කැන්ඩාවේ හිතකර ඩිජිටල් වාතාවරණය බෙහෙවින් වැදගත් වෙයි.

තරඟකාරි සමාජය ජයගන්න ඔබේ දරුවා අනිවාර්යයෙන් ප්‍රගුණ කළ යුතු කුසලතා 7ක්

(මෙය 2017, සැප්තැම්බර් 4 වන දින Word Economic Forum වෙබ් අඩවියේ පළවූ ශාලට් එඩ්මන්ඩ්ගේ ලිපියක සිංහල පරිවර්තනයකි). පරිවතනය: Aysha Maryam

අනාගතයේ ඉදිරි මං පෙත් විවර කරගන්න ඔබ ලද අධ්‍යාපනය ගමන්බලපත්‍රයක් විය හැකියි. නමුත් දක්ෂ ගුරුවරුන් යටතේ සිප්සතර හදාරන දරුවා උසස් සාමාර්ථ ලබා ගෙන විභාග සමත් වූවත් තරඟකාරි සමාජයට සරිලන පරිපූර්ණ අධ්‍යාපනයක් ලබන්නේ කලාතුරකිනි. අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගේ මතයට අනුව බොහෝ පාසල් දරුවාට ජීවිතට ජයගන්නට වැදගත් ජීවන නිපුණතාවන් ලබා දීමට අසමත් වෙයි.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ  Change Leadership Group ආයතනයේ සහකාර අධ්‍යක්ෂ, ආචාර්ය ටෝනි වැග්නර් ට අනුව වර්තමානයේ දරුවන් ගෝලිය සාධන විෂමතාවයකට මුහුණ දෙමින් සිටියි. මින් අදහස් වන්නේ උසස් පාසල් දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය සහ දරුවන් ප්‍රගුණ කළ යුතු ජීවන නිපුණතා අතර ඇති පරතරයයි.

එකිනෙක ඝට්ටනය වන සමාජ රැලි නිසා මෙම තත්ත්වය දරුණු වෙමින් පවතියි. පළමු රැල්ල වන්නේ සමාජය කාර්මික ආර්ථිකයක සිට ශාස්ත්‍ර ආර්ථිකයකට පිවිසීමයි. දෙවැන්න, අන්තර්ජාල යුගයේ හැදෙන වැඩෙන දරුවන් ඉගෙනීමට පෙළඹෙන ආකාරයයි.

වැග්නර්ගේ  The Global Achievement Gap, පොතේ ඔහු නිරන්තරයෙන් වෙනස්වන තරඟකාරි සමාජය ජයගන්න දරුවා විසින් ප්‍රගුණ කළ යුතු නිපුණතාවන් 7ක් ගෙනහැර පායි.

  1. විචාරාත්මක බුද්ධිය සහ ගැටලු විසඳීම.

ව්‍යාපාරික ලෝකයේ නොනවතින තරඟයට මුහුණදීමේදි, සමාගම් දිගින් දිගටම තම භාණ්ඩ සහ සේවා නව්‍යකරණ්‍ය කළ යුතුය. මෙම ක්‍රියාවලියේදි ව්‍යාපාරය සම්බන්ධව පැන නැගෙන ගැටලු හඳුනාගැනීම, එහි මූලය සොයාගැනීම සඳහා ඇසිය යුතු නිවැරදි ප්‍රශ්න පිළිබඳ සේවකයාට නිසි අවබෝධයක් සහ විචාරාත්මක බුද්ධියක් තිබීම අනිවාර්‍ය වේ.

  1. සමාජ ජාල අතරේ සහයෝගිතාවය පවත්වා ගැනීම. ආදර්ශමත් නායකත්වය.

නූතන ව්‍යාපාරික ලෝකය විවිධ ජාල වලින් සමන්විත, පුද්ගලයින් එකිනෙකා සම්බන්ධ කරන විස්මිත පද්ධතියකි. ආදර්ශමත් නායකත්වයක් සහ කණ්ඩායමක් ලෙස සහයෝගිතාවයෙන් වැඩ කළ හැකි පෞර්ෂත්වයක් තිබීම ඔබට මෙම ලෝකයේ සාර්ථකත්වය කරා යන ගමනේදි බෙහෙවින් උපකාරි වේ. සමාජයේ ආකල්ප සහ හැසිරීම් වෙනස් කිරීමට තරම් අනුබලයක්, ආභාශයක් තිබෙන නායකයකු වන්නේ කෙසේද? වැග්නර් ට අනුව ඔහුට/ඇයට නිර්මාණශීලිව ගැටලු නිරාකරණය කිරීමේ හැකියාවක් සහ පැහැදිලි ආචාරධර්මී දර්ශනයක් තිබිය යුතුය.

  1. කඩිසර බව සහ තැනට සුදුසු පරිදි හැඩ ගැහීම.

තැනට සුදුසු පරිදි හැඩ ගැහීම සහ නව නිපුණතාවන් ජීවිතයට එකතු කර ගැනීම, සාර්ථකත්වය ලඟා කර ගැනීම සඳහා ප්‍රගුණ කළ යුතු අත්‍යාවශ්‍ය පුරුදු දෙකකි. ගැටලුවක් නිරාකරණය කිරීමේදී තමන් සතු නිපුණතා, අත්දැකීම්, දැනුම යනාදි සියලු ආම්පන්න යොදා ගැනීමට සේවකයාට හැකියාවක් තිබිය යුතුය. සමාගම් රැසක් වර්තමානයේදි රැකියා අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තුවන නිපුණතාවන් අතර මෙය ඉහළ තැනක් ගනු ලබයි. මෙය learnability හෙවත් ඉගෙනුම් හැකියාව ලෙස සරලව හැඳින්විය හැකියි.

  1. මුල් පිරීම සහ ව්‍යවසායකත්වය

අලුත් දෑ අත්හදා බැලීමෙන් ඔබට අහේනියක් සිදුවන්නේ නැත. පොදුවේ ව්‍යාපාරිකයෝ අවදානම් ගැනීමට මැලිකමක් දක්වති. නමුත් 5ස් වතාවක් කිසියම් කියාවක නිරතවීමෙන් සියලු වටයන්හිදීම ජය ගැනීමට වඩා එම ක්‍රියාවම 10 වතාවක් කර, 8 වන අවස්ථාවේදි ජය ගැනීමෙන් ලැබෙන තෘප්තිය සහ අත්දැකීම් සමූහය වටියි.

  1. කාර්යක්ෂම වාචික සහ ලිඛිත සන්නිවේදනය.

වැග්නර්ගේ සමීක්ෂණයට අනුව, ව්‍යාපාරික ලෝකයේ බලවත් නායකයන් සඳහන් කරන ආකාරයට, අපැහිදිලි චින්තනය සහ අදහස් නිසි ලෙස ප්‍රකාශ කිරීමේ නොහැකියාව රැකියා අපේක්ෂකයන් අතර බහුල වශයෙන් දක්නට ලැබෙන බාධක දෙකකි. මෙය භාෂාවේ ව්‍යාකරණ හෝ වියරණ රීති සම්බන්ධ ගැටලුවක් නොව තම සිතුවිලි සහ අදහස් පැහැදිළිව වාචිකව හෝ ලිඛිතව ප්‍රකාශ කිරීමට ඇති නොහැකියාවයි. ඔබට කෙතරම් ශ්‍රේෂ්ඨ අදහස් පහළ වූවත් එය තවත් කෙනෙකුට තේරුම් ගත හැකි වන ලෙස පැහැදිළිව ලිඛිතව හෝ වාචිකව සන්නිවේදනය කළ නොහැකි නම් එම අදහස් වල ඵලක් නැත බව වැග්නර් පවසයි.

  1. තොරතුරු ප්‍රවේශය සහ විශ්ලේෂණය.

බොහෝ සේවකයෝ දිනපතා තොරතුරු විමානයක් සමඟ ගණුදෙනු කරති. සීඝ්‍රයෙන් තොරතුරු වෙනස්වන කාල වකවානුවක, අනවශ්‍යය දෑ අතුරින් සූක්ෂ්ම ලෙස අවශ්‍ය දේ පමණක් ලබා ගැනීම අසීරු මෙන්ම ඔබ අනිවාර්යයෙන් පුහුණ විය යුතු පුරුද්දකි.

  1. කුතුහලය සහ නිර්මාණාත්මක හැකියාව.

ගැටලු නිරාකරණය කිරීමේදි සහ නවෝත්පාදනයේදි කුතුහලය සහ නිර්මාණාත්මක හැකියාව  බෙහෙවින් වැදගත් වේ. වැගනර්ට අනුව අපි සියල්ලෝම උපතින්ම නිර්මාණශීලි, කුතුහලයෙන් පිරි ජීවින් වෙමු. සාමාන්‍යයෙන් අවුරුදු 4ක දරුවෙක් දිනකට ප්‍රශ්න 100ක් වත් අසයි. නමුත් ඔහු-ඇය යන්තං අවුරුදු 10 ලබන විට කුතුහලයෙන් ප්‍රශ්න අසනවා වෙනුවට  පාසලේදි, පන්තියේදි ප්‍රශ්න වලට සැමවිටම නිවැරදි පිළිතුරු සෙවීමට තැත් කරයි. “දෙමාපියන් සහ ගුරුවරුන් ලෙස අප කළ යුත්තේ දරුවාට සහජයෙන්ම විවිධ මට්ටම් වලින් පිහිටන කුතුහලය සහ නිර්මාණාත්මක හැකියාව අකාලේ මොට වන්නට ඉඩ නොදී අවදි කරවීමයි”